Thursday 1 December 2016

ආදර අනිල් අය්යේ

බොහොම සුන්දර පින්තුර සිහිවටනයක් මුහුණු පොතේ අද උදැසනම දැකීමෙන් මගේ දවස සම්පූර්ණ වුණා. 
ඔබත් ඔබේ රාජකාරී මිතුරාත් වචනයේ පරිසමාප්ති අර්ථයෙන්ම බොහොම සුන්දර මිනිසුන්. පරිසර සංරක්ෂණය, වන ජීවීන් ගැන බර වචනයෙන් නන් දොඩවන මහා පරිසරවේදීන් හමුවේ මට ඔබලා පතාක යෝධයන්, මන්ද ඔබලා සිරිපාද නොයිඳුල් රක්ෂිතයේ ගහකොළ, සතා සිව්පාවන්ගේ හදගැස්ම හඳුනන ප්‍රයෝගික මිනිසුන් බැවින්. 
මගෙත් මගේ ගමන් සගයා - දැන් ජීවන ගමන් සගයාගේ නඩේගුරා සංගමයේ  පරිසර හිතැති මිතුරන්ගේ අතීත වැඩසටහන් හැමදාම ආනන්දනීය සිහිවටනයන්. නල්ලතන්නියේ ඔබලාගේ පරණ මුළුතැන්ගෙයි පොලිතින් සුද්දකරන්න ආපු අපේ නඩේ ගුරා කාණ්ඩයේ 30 දෙනෙකුට උයපු සුන්දර මතකයත් හිතේ බොහොම ලස්සනට හැමදාම තියෙනවා. එහෙම උයලා, හැමෝටම බෙදලා ඉවරවෙලා මමත් ඉතුරු වෙච්ච බත් හොදි ටිකක් කෑම උයපු මහා පතරංග වලඳකම  අනාගෙන කෑවා. මෙන්න පැපරාසි අනිල් අය්යා ඇවිත් ඒ චායාරූපය අරගෙන මාව blakmail කරා කියමුකෝ. මෙවන් බොහොම රසබර මතක සාගරයක් සමගින් අපට පමණක් නොව නල්ලතන්නියේ අනිල් අය්යා බොහොමයක් පරිසරයට ලැදි මිතුරන්ට ඇවිදින පුස්තකාලයක් සොඳුරු මිතුරෙක්‌ .
 පරිසරයට, අපේ  දරුවන්ට රටේ දරුවන්ට  නුඹලා කරන මෙහෙය අමිලයි. නිතර හමු නොවුනත් නිතර කතා නොකලත් එදා පැවති බැඳීම එහෙමම හිත් අහසේ පායා තියෙනවා. ඔබ සැමට  ජය වේවා!!!










Monday 28 November 2016

අපි මචන්

නිදි නැති දෙනෙතට, මනසට සිංහල පැරණි ආදර, විරහ ගීත අම මී ඔසුවක්. පසුගිය කිහිප දිනවල රාජකාරී වැඩ බොහොමයක් නිසා මමයි මගේ පරිගණකයයි ගජරාමෙට වැඩ. ඒ ඇසිල්ලේ අසන්නට ලැබුණු අමුතු තාලයේ නව සංගීත සංයෝජනයක් මා අමන්දානන්දයට පත් කළා. ඔවුන්ගේ සංගීතය සුමටයි, කටහඬ  ගැඹුරුයි එසේම ප්‍රේමනීයයි. ඉඩෝරයට වට මුතු වැස්සක් මෙන් සංගීත කෙත යළි අවදි කරන්නට අපි මචන් සංගීත කණ්ඩායමට,  ඔවුන්ගේ සුයාමයට සුබ පැතුම්.
 


Thursday 22 September 2016

අම්මාගේ ආදර මතක සුවඳ


සැතපුම් ගණනින් සහසක් දුර වුවත් 
නිති දකින්නට වරම් නැති මුත්
සිත නුඹේ ඇහි පිල්ලම යට හැමදාම 
වසරකට එක දවසක් පමණක් කුමටද 
උදා වන හැම දිනක්ම අම්මාවරුන්ගේ දිනයකි 
දුරකතනයෙන් දකිනා නුඹේ ලබැඳි වුවන 
සිහිගන්වයි අපෙ ආදර මතක සුවඳ 

අම්මාගේ උණුසුම් කැදැල්ලෙන් නික්ම මා සෙනෙහෙවන්තයාගේ පතිනිය වී නව කැදැල්ලක් තනන්නට යන්නට පෙර දවසේ මගේ අම්මා මා වෙනුවෙන් කවි පොතක්ම ලියලා දුන්නා. පසුගිය දවසක අපේ අම්මා මා වෙනුවෙන් ලිවූ තවත් කවි පන්තියක් මට ලැබුණා. මට පමණක් නොව අපේ පවුලේ සැම වෙනුවෙන් ඇය කවි කතා පොත් ලියා තිළිණ කර ඇත. එදා මෙදා තුර මා ලද මෙම අමිල තිළිණය කියවා මටත් නොදැනී මහද සියුම් වෙණ තත් කම්පනය වුවා. ආදරය නම් මෙයයි කියන්නට මෙන් මුළු මිහි තලයම නින්නාද කරවන්නා වූ  මගේ අම්මාගේ ආදරය, ඔබේ අම්මාගේ ආදරය; විඳින්නට අවසරයි බෙදා ගන්නට මගේ තිළිණය.
මගේ අම්මා සිරිලක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත වෘක්ෂයක් සහස් දු දරුවන්ගේ, දෙමව්පියන්ගේ, ගුරුවරුන්ගේ බුද්ධියේ නිම් වලළු පුළුල් කරන, නමුදු ස්වකීය කුටුම්බයට ඇය අදරැති මවක්, ගෘහණියක්, කිරි සිනා සුවඳ විඳින ආච්චි අම්ම කෙනෙක්. එසේම අපේ ගමේ අවුරුදු උත්සවය, වෙසක් බැති ගී ව වැඩ සටහන්, වැඩිහිටි චාරිකා එකී නොකී බොහෝ දේ සංවිධානය කරන නිසි කළමනාකාරිත්වයද ඇයයි. 


මගේ අම්ම මෙන්ම ඔබේ අම්මාද ඔබේ ජීවිතයේ පරමාදර්ශී චරිතයක් බව නොඅනුමානයි. එසේ නම් බෙදා ගන්න ඔබේ ආදරය සැම විටම ඇයත් සමග.
 කලින් වතාවක මා ඇයට ලිවූ උපන් දින සුබ පතුමක්ද මට හමු වුණා. 






Sunday 11 September 2016

ආදර මල්ලි කොල්ලාට

ආදර  මල්ලි කොල්ලාට,
සිටියත් සත් සමුදුරින් එපිට
නොහැකි වුනත් නිති දකින්නට
සිත නුඹ ගාව හැම ඇසිල්ලෙම 
විසි පස් වසරක් ගෙවී ගිහිල්ලා
අපෙ කෙලි කවට සෙල්ලම් වියැකිලා
මම ඔහුගෙ පතිනිය වෙලා
ඔබ ඇයගේ හිමිකරු වෙලා
නමුදු එදා දුටු මල්ලි කොල්ලා 
තවම මගෙ හිත අස්සට තුරුල්  වෙලා


සිත් අහසේ පැයූ දුල්  සරා සඳ
අදරැති මගේ පොඩි මල්ලි සොඳ

රජත ජයන්ති සමරන සඳ
සුබම සුබ පැතුම් මගේ මල්ලි 
සොඳ

Tuesday 28 June 2016

සුපිරි තරු....

සුපිරි තරු තෝරන තරඟ ලංකාවේ වැහි වැහලා. පඳුරකට ගැහුවොත් සුපිරි තරු ගොන්නක් එළියට විසි වෙනවා. එහෙත් අපේ රටේ ඇත්තටම දක්ෂයන්ද නැත්නම්  කෙටි පණිවිඩ වෙළඳාම හොඳින්ම කරන කෙනාව ජනතා පරමාදිපත්‍යට ගරු කිරීමෙන් සුපිරි තරුව ලෙස තෝරෙනවාද කියා පසුගිය වසර කිහිපය පුරාම ඔබත් මාත් හොඳින් තේරුම් ගත්තා නොවේද? අවසානයේ ජයග්‍රාහකයා වන්නේ ජංගම දුරකථන දුරකතන සේවා ආයතනය නොවේද? මෙම යතාර්ථය දැන දැනත් ඔබ  තවම සීනි බෝල සුපිරි තරු වැඩසටහන් නරඹනවා නොවේද? අද මගේ මෙම සටහන මම බෙහෙවින් ආසාවෙන් අන්තර්ජාලයේ නරඹන America's Got Talent, Britain's Got Talent පිළිබඳවයි. ඔබ වරක් නැරඹුවොත් නොනවත්වා නරඹනවා නොඅනුමානයි, මන්ද වැඩසටහන පුරාම අදහාගත නොහැකි දක්ෂතා ඔබට විඳ  ගත හැකියි. සමහර තරඟකරුවන්ගේ පසුබිම් කතා මාහැගි ජීවිත මාර්ග උපදේශන කතා  මාලාවක් ලෙස ඔබට ගත හැකියි. එසේම වයස යනු හුදෙක් අංකයක් පමණක් බව ඔබට මට ගෙනහැර පානවා . තවද විනිශ්චය මණ්ඩලයක වගකීම සහ ප්‍රතිචාර දැක්වීමේ කලාව මැනවින් අවබෝධ වෙනවා නිසැකයි.
එසේනම් පහත සබැඳි වලින් ජීවිතය අහන්න, දකින්න, විඳින්න...

Wednesday 8 June 2016

කතා කරන සින්දු

ගීතයක් රස විඳිද්දී  එහි ධ්වනිතාර්ථය, සංගීතය ලේ සම් මස් නහර ඇට මිදුළුවලට දැනේ නම් එය රචකයාගේත්, තනු නිර්පමාපකයගේත්, ගායකයාගේත් අග්‍රගණයේ තුන් ඇදුතු ප්‍රයත්නයක් නොවන්නේද? මේ දිනවල මා බෙහෙවින් රස විඳින සුපිරි නිර්මාණයක්  බෙදා හදා ගන්න හිතුණා. මෙම  ගීතය ඔබට මට කතා කර අපේ මනස්  ආනන්දයෙන් ප්‍රඥාවට ගෙන යන්නක්, මක් නිසාද යත් මුළු ගීතය පුරාම විහිදී ඇති බල සම්පන්න සැඟවුණු අර්ථය නිසා. එසේම මහා සමාජ කතාන්තරයක් ඔබට මට ගෙනහැර පාන්නක්. 


චිත්‍රාල් සෝමපාල අසහාය ගායකයාගේ කට හඬ  විටෙක ප්‍රේමන්විතවද තවත් විටෙක මහා ජව සම්පන්නවද ගීතයට අතිශයින් සාදාරණයක් ඉටු කරනවා. සංගීතය, ගී තනුව එක සේම ගීයට රුකුල් දෙමින් ඔබ මා නවමු ලෝකයකට ගෙන යනවා. ගී තනුවේ  මුල සිට අග දක්වා එකිනෙක කියනා කතාන්තරය විමසිල්ලෙන් අසා රස විඳින්න.



ඇහැරෙන්න....
ඇහැරෙන්න ඉතින් දැන්වත් 
ඉඩ දෙන්න  සොඳුරු සිහිනෙන් 
ඇහැරෙන්න.....

මහ වැස්සක ගිනිගත්ත
ඒ ප්‍රේමවන්ත සිහිනෙන්
ඇහැරෙන්න......

දැමුණු සුහික්මුණි
පිළිවෙත් සුරැකුණු
මගේම විජිතයෙහි
මා කිරුල දරා සිටියා
ආදරය ඇවිත් සිහිනෙන්
ඒ කිරුළ සොරා ගත්තා
ඇහැරෙන්න......

මහ වැස්සක ගිනිගත්ත
ඒ නිලංකාර සිහිනෙන්
ඇහැරෙන්න......

ආදරය අකැප හින්දා මම වෙස්වළා සිටියා

දැමුණු සුහික්මුණි
පිළිවෙත් සුරැකුණු
මගේම විජිතයෙහි
මා වෙස්වලා සිටියා
ආදරය අකැප හින්දා 
ඇහැරෙන්න..........

ඇහැරෙන්න කළින් සිහිනෙන් 
මට කියාදෙන්න රහසින් 
කොයි සිහිනෙන්ද කියා
මා ඇහැර 
පලා යන්නේ
මේ මොරසූරන වැස්සේ
ඇහැරෙන්න......

සිහින ගිනි ගන්නා
මේ මොරසූරණ වැස්සේ
මා ඇහැර පලා යන්නේ
කොහේදැයි කියා .......
මට කව්ද කියාදෙන්නේ
කව්ද කියාදෙන්නේ 
ඇහැරෙන්න.....

මහ වැස්සක ගිනිගත්ත
ඒ නිලංකාර සිහිනෙන්
ඇහැරෙන්න.....
මහ වැස්සක ගිනිගත්ත
ඒ  නිලන්කාර සිහිනේ 
ඇහැරෙන්න.....

ඇහැරෙන්න / Wake Up, 
Theme Song from the Movie ' Let her Cry ' by Asoka Handagama, 
Composed and Performed by Chitral 'Chity' Somapala
Music: Amal Alvis

Saturday 4 June 2016

අහනවානම් මෙන්න සින්දු

කවුරු කෙසේ කිව්වත් මට නම් අන්තර්ජාලය යනු මහා පුදුම සම්පතක්. ගූගල් දෙවියන් දැන හෝ නොදැන අපට කරන සේවාව මහා මෙරක් තරම් වටිනවා. පසුගිය දවසක අහම්බෙන් හමුවුන පහත ගී මියැසිය මේ දිනවල අපේ ගෙදර ජාතික ගීය වෙලා. ලංකාවේ බොහෝ දෙනා සිංහල කතා කිරීම ලැජ්ජාවක් ලෙස පුහු මානසිකත්වයෙන්  සලකද්දී විජාතිකයන් අපේ ගීත ගයන අපූරුව පුදුමාකාර මිහිරක් ගෙන දෙනවා. ඇමරිකාවේ බර්ක්ලී සංගීත පාසලේ සිසුන්ගේ සම්මිශ්‍රණයෙන් එළි දකින මෙම ගීතය හේතු කිහිපයක් නිසාම මට හරි අපූරුයි. අපේ ශ්‍රී ලාංකීය නැටුම්, යක් බෙර, ගැට බෙර, සුපැහැදිලි කටහඬ, නාද මාලා  යොදාගෙන   සංගීත සංකලනයේ විශිෂ්ට නිමයුමක් ලෙස අවිවාදයෙන්ම මෙම ගීය ඔබේ මගේ සවන් පිනවනවා. 
අහන්න, විඳින්න පහත සබැඳියෙන් 


Arranger: Shannon Jacob (Sri Lanka)
Lead Vocals: Sanchitha Wickremesooriya (Sri Lanka) & Harshitha Krishnan (India)
Pahatharata Beraya (Yak Beraya): Nalinda Pieris 
Gata Beraya: Uthpala Eroshan
Devil Dancer & Thalampata (Hand Cymbals): Dilhan Pinnagoda
Dancers: Shreya Navile (USA/Boston Conservatory), Carolina Salomon Simon (Mexico/Boston Conservatory), & Madeline Miller (USA/Boston Conservatory)
Voice: Dhruv Goel (India), Ryan LaForrest (USA), Caleb Kishan Savari (Malaysia), Sashank Navaladi (India), Razafindratandra Ny ony (Madagascar), Yaevin Lee (USA), Jenna Kohut (USA), Harshitha Krishnan (India), Wambura Mitaru (Kenya), & Sanchitha Wickremesooriya (Sri Lanka)
Trumpet: Nicholas Alleyne (USA) & Alonzo Ryan, Jr. (USA)
Alto Saxophone: Emery Mesich (USA)
Tenor Saxophone: Chris Allison (USA) & Nicholas Suchecki (USA)
Trombone: Yoshie Nakayama (Japan) & Amanda Fairbank (USA)
Baritone Sax: Gabriel Nekrutman (USA)
Bansuri: Srishti Biyani (India)
Flute: Missy Jaworski (USA)
Kelsey Rogers Violin Durban, South Africa
Kailey Zercher Violin
Santa Fe, NM, USA
Mona Seyed-Bolorforosh Violin

Friday 29 April 2016

මානව සන්නිවේදන සබඳතා

මම පසුගිය සතියේ  නොසිතූ විරූ අපූරු සිදුවීමකට මුහුණ දුන්නා. ඉතා පොඩි සිදුවීමක් වුවත්  එය මගේ දවස සම්පූර්ණ කළා. අපේ පාසලේ සනීපාරක්ෂක කම්කරුවෙක් වන අල්ලපු රටේ සේවකයෙක් මට ඔහුගේ ජීවිතයේ බොහොම සුබදායි ආරංචියක් පැවසුවා. සෑම වියපත් පියෙකුගේම හීනයක සුබ නිමිත්තක් ඔහු  මා හා බෙදා ගත්තා. මා බෙහෙවින් සතුටු කළ ඔහුගේ වචන ස්වල්පය වුයේ - මට  ඉස්කෝලේ ඉන්න හොඳම  යාලුවා මිස්නේ, ඉතින් මේක මම ඉස්සර වෙලාම කියන්නේ මිස්ට. 

උදේ හවස දැක්කහම ගුඩ් මොනිග් අන්කල් කියනවා හැර, දුටු විට ලෙන්ගතු හිනහවකින් සංග්‍රහ කරනවා හැර ඔහු වෙනුවෙන් වෙන කිසිම උදව්වක් මා ඔහුට කර  නැහැ. හැබැයි මම  ඔහුගෙන්  අඩුම ගානේ සතියකට වතාවක් වත් සැප සනීප, ආගිය විස්තර විමසනවා. මට හිතෙන විදිහට ඔහු මා ඔහුගේ හොඳම මිතුරා ලෙස දකින්න ඇත්තේ මේ නිසා. 

මේක බොහොම පොඩි දෙයක් වුනාට මම දකින විදිහට සවිමත් මානව සන්නිවේදන සබඳතා කියන්නේ මහා බල සම්පන්න ඔසුවක්. මේ ලිපිය කියවා අවසන් වී ඔබත් පොඩ්ඩක් හිතන්න ඔබ අතින් මගහැරෙන පොඩි  දේවල්ම නොවේද අවසානයේ අර්බුද   බවට  පත්වන්නේ කියා. 

ඉතින් මදක් විමසන්න, කරන්න ඔබ අතින් අතපසු වුන පොඩි පොඩි දේවල් ඔබට සහ  ඔබ වටා සිටිනා ඔබේ ආදරනීයයන්ට, සේවකයන්ට, සමාජයට.....

Sunday 24 April 2016

අසා බලන්න වරක් නොව කිහිප වරක්

නින්ද ඇවිත් ආයාසයෙන්  මා සිප වැළඳ ගන්න හැදුවත් රාජකාරී වැඩ නිසා නිදි කුමාරයාට යන්න කියන්න වුණා. විඩා බර නේත්‍රා යුගලටත් වෙහෙසෙනා හිතටත් පොඩි ඉසිඹුවක් දෙන්න හිතලා අන්තර්ජාලය   පැත්තට ගොඩ වැදුණා. අහම්බෙන් අහන්නට ලැබුණු නිතර අසන්න නොලැබෙන මේ සුබාවිත ගී මියැසිය මගේ හදේ ගැඹුරුම තැන ප්‍රකම්පනය කර නෙතට කඳුලක් නංවන්නට සමත් වුණා. 

ඇත්තමයි මට මගේ දෙවැනි අම්මා - මහම්මා (අම්මගේ අක්කා) මේ සින්දුව අසද්දී මා ඉදිරිපිට ඉන්නවා වගේ හිතුණා. මා ජීවිතයේ බොහෝ දේ සමාජය ඇසුරෙන් ඉගෙන ගත හැකි බව පසක් කලේ මගේ මහම්මාගෙන්. අපි බොහෝ දෙනා මිනිසුන් මනින්නේ ඔවුන්ගේ නමට ඉදිරිපසින්, පසුපසින් ඇති උපාදි, සුදුසුකම් වලින් එහෙමත් නැත්නම් බැංකු ගිණුම්වල ශේෂයෙන්, යාන වාහන සහ සමාජ තත්වයෙන්. අපි පිළි ගන්න කැමති වුනත් අකමැති වුණත් වානිජකරණය වූ මේ සමාජයේ කටුක ඇත්ත  එයයි. මගේ මහම්මා මුදලින් පොහොසතෙක් නෙවෙයි, හැබැයි ගති ගුණ සහ මනුස්සකම් වලින් ඇය මට අග රැජිණක්. මගේ මහම්මා වගේ මේ ගීතයෙන් කියවෙන කිරි අම්මා කෙනෙක් වගේ;  අපි හැමෝගෙම ජීවිතවල ආදරණීය චරිතයක් ඔබටත් ඉන්නවා සත්තයි. 

ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලන්නට අත් පොත් තැබුවේ මගේ මහම්මාගෙන්- මෙහි සඳහන් චරිතය කිරි අම්මා වගේ.  අපට යම් දෙයක් අහිමු වුනත් එය තවකෙකුට හිමි වී ඔවුන් විඳින සතුට දෙස බලා සතුටු වන්නට හැකිනම් ජීවිතේ මහා අරුත එයම නොවේද? 

බිම වැටුණු කිරි දතට
හඬන මගෙ ළපටි හිත
අඹ ගහේ ලේනෙකුට දුන්නා
අහිමි වී ගිය දිනෙක
සිනාසිය හැකි හිතක්
අතීතෙන් මට ගෙනත් දුන්නා
මැටි ගෙදර අපේ කිරිඅම්මා
මැටි ගෙදර අපේ කිරිඅම්මා

නාමිකව පොහොසත්, කුල මාන්නයෙන් උදම් වුන එහෙත් දන් දීමට පුරුද්දක් නැති මිනිසුන් සිටිනා සමාජයක ඇසට පෙනෙන නොපෙනෙන සතුන්ට පවා මහැගිව රැකගත් දෙයක් දන් දෙන්නට මේ කිරි අම්ම නොපසුබටයි.

රහත් නමකට නොදෙන
කැවුම් මල්ලක් තියෙන
සිටුවරුන් සිටුගෙදර උන්නා
මා නමින් ගෙයි ඉදෙන
කැවුම් අහුරෙන් එකක්
අඬන කෝදුරුවන්ට දුන්නා
මැටි ගෙදර අපේ කිරිඅම්මා
මැටි ගෙදර අපේ කිරිඅම්මා

කිරි අම්මා වාසය කරන්නේ දුප්පත් මැටි ගෙදරක, එත් මුළු ගමටම දන් දෙන්නට, කුසගිනි නිවන්නට මේ කිරි අම්‌මා පොහොසත්. මට හිතෙන විදිහට අන්තිම පද පෙලෙන් කියවෙන්නේ අද සමාජයේ සියලු සබඳතාවන් ඩිජිටල් වෙලා, මානව බැඳීම් දුරස් වෙලා , එත් අපි තාක්ෂණයත් එක්ක අනු ගත වෙලා- හැබැයි මානව සබඳතා වලින් පිරිහිලා. මෙවන් කිරි අම්මා චරිතයක්  තාක්ෂණික ලෝකයේ කොහෙවත් නැහැ. පුලුවන්නම් හොයා ගන්න. 

මැටි ගෙදර තිබුණු තැන
ගමක කුසගිනි නිවන
කිරි එරෙන ගහක් වැඩ ඉන්නා
වෙබ් අඩවියේ තැ‍නෙක 
හමුවුනොත් දන්වන්න
මැටි ගෙදර අපේ කිරිඅම්මා
මැටි ගෙදර අපේ කිරිඅම්මා
.
පද - රජී වසන්ත වෙල්ගම
සංගීතය - ප්‍රසාද් සිරිවර්ධන
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

ලයාන්විත මියැසි ස්වරයෙන්,  අරුත් බර පද වැලින් සිත් විල නින්නාද කළා වූ ඔබේ ජීවිතයට සමීප මෙවැනි කිරි අම්මා කෙනෙක් ගැන සඳහන්  මේ ස්වර සන්ධවනිය බෙහෙවින් සංවේදීය. අසා බලන්න, විඳින්න  වරක් නොව කිහිප වරක්.

Saturday 23 April 2016

ඉතින් ආයුබෝවන්!

නෙලුම් වලක් නෙලුම් විලක් කරන්නට වෙනස ඉස්පිල්ලකි.
2003 වසරේ මුණගැසුන ඔහුගේ මා ඇසු පළමු කතාව මෙයයි.
දහතුන් වසරකට පසු ඔහු සමු ගන්නා දවසේ මගේ අවසාන කතාවේ පූර්විකාවද එයයි.
මහගු වෙනසක් උදා කළ මුල් ගුරුතුමනි සොඳ, 
ඉතින් ආයුබෝවන් යලි මුණ ගැසෙන තුරා .......

ඕමානයේ සිරි ලක් විදුහලේ මුල් ගුරු සෝමබන්දු කොඩිකාර මහතාට සහ ආදරබර නාලිනී කොඩිකාර මැතිණියට සුබ ගමනකට සුබ පැතුම්!


අපේ හයේ පහර!!!

අදින් සය වසරකට පෙර 
ජය මංගල අෂ්ටක බෙර හඬින් 
රන් කෙන්දෙන් අතැඟිලි එක් කරලා 
නුඹේ සොඳුරු මනාලිය ලෙසින් 
අපි අපේ වුනා මතකයි අදරින්. 
සුපුරුදු සෙනෙහෙ කැදැල්ලට සමු දී ..
ඔබේ අත ගෙන දිවි මං තලාවේ
පියනගන්නට සතුටින්
එක්වූවා සෙනෙහෙ සිතින්
දසකයකුත් සිව් වසරකුත් ගෙවිලා
ඔබ මා දැන හඳුනාගෙන
එදා දුටු මගේ සොඳුරු මිතුරා
දැන් මගේ සුහදානන් වෙලා
ආදරේ නම් මහ මෙරක් මැයි
අකුරු අමුනන්නට නොහැකී
රන් රස සේ එක් වෙලා
එදා මෙන් හැමදාමත් ආදරෙන්
පිය නගමු අපි සන්තොසින්...
HAPPY ANNIVERSARY HUBBY!


Thursday 21 April 2016

ආදර අක්කා

පවුල් බැඳීමක කොඳු නාරටිය මට හිතෙන විදිහට නම් පවුලේ ලොකු අක්කා. එකිනෙක ආවර්ජනය කරනවානම් ලියා නිම කරන්නන්ට නොහැකි තරම් රසබර මතක ගෙනහැර දක්වන්නට පුළුවන්. හොඳම මතකයක් නම් මම පොඩිම කාලේ අක්කා මට කිව්වා අකුණු ගහද්දී යකඩ වලට ඒවා ඇද ගන්නවා, ඒක නිසා යකඩ ළඟ ඉන්නවත් එපා. මගේ වෙලාව කියන්නේ දවසක් හෙන ගගහ වහිද්දී මම ඇඳගෙන හිටියේ යකඩ ගාන්චු තියෙන කොට කලිසමක්. අක්කගේ උගත් පාඩම් කොමිසම කෙතරම් මගේ ඇට මිදුළු වලට ගිහින්ද කියනවානම් ඒ වෙලාවේම මම කලිසම ගලවලා විසි කලානේ. කොහොමද අපේ අක්කගේ අකුණු සන්නායක විද්‍යා පාඩමේ තරම. පොඩි කාලේ ඇණයක් විදිහට හිතුනත් දැන් හිතෙනවා ඒ සොඳුරු ළමා වියේ මතකයන් නිසාම නොවේද අපි ආදරෙන් තාමත් ජීවත් වෙන්නේ කියා. 
මේ පුංචි සිතිවිල්ල ඒ මතකයන් වෙනුවෙන් .....

 2015-04-22
                                                                                 2016-04-22

Monday 18 April 2016

අපි මොනවද කළේ?

කිසිදා දැක නැති එහෙත් බ්ලොගය නිසා මා හඳුනාගත් හිතවතුන් මගේ නිර්මාණ අගය කරද්දී දැනුන සතුට යලි විඳගන්නට මගේ සුබ කතා බ්ලොගය පණගන්වන්නට මට හිතුනා.  දිගු නිහැඬියාවකට පසුවුණත් හිතට දැනෙන, විඳින වස්තු බීජයන් ඔබ හා බෙදාගන්නට යලිත් අවසරයි.
ළඟකදී නින්දත් නොනින්දත් අතර ඉන්දෙද්දී මට හරි අපූරු සිතිවිල්ලක් පහළ  වුණා. අප අසා ඇති ඉතිහාස කතා වල දුටුගැමුණු රජතුමාට මරණාසන්න මොහෙතේදී සිහිපත් කරන්න පින් පොතක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ එතුමා කළ හැම යහපත් කටයුත්තක්ම පින් පොතේ සටහන් කරලා තියෙනවා. ඉස්සර වගේ දිනපොත් දැන් පාවිච්චි කරන්නේ නැති නිසා මට හිතෙනවා මුහුණු පොතේ පින්තූර සටහන් සහ සොඳුරු මතකයන් හැර අප කළ කිසිවක් වාචිකව සටහන් වෙන්නේ බොහොම අඩුවෙන් කියා.  රාජකාරී කටයුතු නිසා ලංකාවෙන් බොහෝ දුර බැහැරව මමත් මගේ සංචාරක ගමන් සගයත්(දැන් ඔහු මගේ ජීවන ගමන්මගේ සගයා) හිටියත් එදා ලංකාවේ ගිය චාරිකා තවම සිතේ සක්මන් කරන නිසා මතු යම් දවසක අපේ දරු මුණුබුරන්ට කියන්නට රස ගමන් විස්තර සටහන් කරන්නට මට හිතුනා. අපේ බොහෝ සංචාරක සටහන් පහත සබදියන්වල තිබුනත් සියල්ල එක පිටුවක ගලපන්නට මගේ උත්සාහයයි.

ඉදිරියට ඒවා විස්තරාත්මකව ගෙනෙන්නත් මෙම ගමන් වලදී අපට හමුවූ  සොඳුරු මිනිසුන්, මතකයන්  ගැනත් පෙලගස්වන්නට ඉදින්  අවසරයි!
අපේ කඳු තරණයන් සහ සංචාර කිහිපයක්
  • පිදුරුතලාගල 
  • කිරිගල්පොත්ත - දෙවරක් 
  • තොටුපොල කන්ද - දෙවරක් 
  • සමනල ගිර - මාර්ග සතරකින් සතර වරක් 
  • ග්‍රේට් වෙස්ටර්න් 
  • කොනිකල් හිල් 
  • සිංගල් ට්‍රී හිල් 
  • නකල්ස්, දෝතළුගල  
  • ගොන්ගල 
  • හන්තාන 
  • බෝම්බුරු ඇල්ල 
  • වන්ගෙඩිගල - බඹර කන්ද 
  • බැරන්ඩිගල, සේර ඇල්ල - මාතලේ
  • ඩෙල්ෆ්ට්, යාපනයේ සංචාරය 
  • විල්පත්තු, තම්බපන්නි ගමන 
  • ලෝකාන්තය - සුපුරුදු පාර සහ නග්රක් බංගලාවෙන් ඉහලට 
  • හත්මලේ ඇල්ල - දෙනියාය 
  • සිංහරාජය දෙවරක් 
  • කොත්මලේ සංචාරය 
  • මොණරගල 
  • රාක්ෂගල 
  • යක්දෙස්සගල 
  • කබ්බලේ කන්ද -කන්නෙලිය
  • මානිගල 
  • රිවර්ස්ටන්    
  • මීමුරේ