Saturday 29 November 2014

මහරජ ගැමුණු...

සුල්තාන් කාබුස්  රජතුමාට ස්තුතිවන්ත වෙනවා දින හතරක ඉසිඹුවක් ලබාදීම සම්බන්දයෙන්. මා මෙසේ කියන්නේ මක් නිසාද යත් මෙම දින හතර බෙහෙවින්   පලදායී ලෙස ගත කළ බැවින්. සිත් අහසේ සැඟවුණු තාරකාවක්ව පැවැති මෙම බ්ලොගය  දැන් දිලෙන්නට පටන් අරගෙන. ඔබ සැමගේ අදහස් වලටත් දිරි ගැන්වීම් වලටත්  තුති මල්!!

අද මගේ පොස්ටුව මේ දැන්  එක හුස්මට කියවා හමාර කල නැවතත් කියවන්න පටන් ගත් මහැඟි පොතක් සම්බන්දයෙන්පොතේ නම " මහරජ ගැමුණු". අපේ කාලයේ සිනමා තීර්ථ යාත්‍රිකයා වන ජයන්ත චන්ද්රසිරිගේ පන්හිඳෙන් මෙය සාර ගර්භ  ලෙස රචනා වෙලා තියෙනවා. ඉරිදා දිවයින පුවත් පතෙන් වරින් වර කියවන්නට මට අවකාශ ලැබුනත් මෙහි සැබෑ රසය විඳින්න ලැබුනේ අද. අපේ ඉතිහාසයේ කාවන්තිස්ස රජතුමා හංවඩු ගසා ඇත්තේ යුදයට බිය එතරම් රාජ තේජසක් නැති රජෙක් ලේසයි. එහෙත් මෙම පොත කියවාගෙන යන විට හැඟෙන්නේ කාවන්තිස්ස නොමැතිනම් දුටු ගැමුණුවෙක් ලොවෙත් නැත යන්නයි. රටේ මහා සංග්‍රාමයක් යන විට යටිතල පහසුකම්, ආහාර ගබඩා, රජ වැසියන්ගේ ඕනෑ එපාකම්  සලකා බැලුවේ නැත්නම් රජෙක් කෙසේනම් යුද්ද කරත්ද?  මහරජ ගැමුණු පොතෙන් කාවන්තිස්ස රජතුමාට අති සාධාරනයක් කර ඇත. එසේම තවත් සතුටට කාරණයක් වන්නේ මෙම පොත සිත්තම් පටයක් ලෙස ලබන වසරේ අපට විඳින්නට හැකි බවයි. චිත්‍ර පටයේ පූර්ව ප්‍රචාරක දැන්වීම දුටුවිට පොත කියවාගෙන යද්දී ඇතිවුන චිත්තරූප  සියසින් රිදී තිරයේ  නැරඹිය හැකි බවට ලැබුණු සහතියකයත් සමග  හිත තවත් පිනා ගියා.

Thursday 27 November 2014

මට දෙන්න මගේ ආදරේ..

ඔබට බලගතු වරයක් ලැබෙනවා ඔබ සිතන පතන විදිහේම සහකරුවෙක්/සහකාරියක් ලබාගන්න. හැබැයි  ඔබ එය එක වැකියකින් පවසන්නත් ඕනේ; එකම එක ලක්ෂණයක් විතරයි කියන්නත් පුළුවන්. ඔබ එසේ කිව්ව ගමන් ඔබේ හිතේ තියෙන ඔබ ආදරය කරන, ආදරය පතන  සෙනෙහෙවන්තයා/සෙනෙහෙවන්තිය ඔබ ළඟ. මෙය මීට වසර ගණනාවකට පෙර ලෝක රූ රැජින තරගාවලියක අවසාන තරගකාරියකගෙන් අහපු ප්‍රශ්නයක් මම පොඩ්ඩක් අතින් දාලා රස කරලා ඔබෙන් අහනවා . මේ ප්‍රශ්නය ඔබෙන් ඇහුවානම් ඔබ ඔබේ ආදරවන්තයා ආදරවන්තිය සම්බන්දයෙන් ඔබ දෙන පිළිතුර කුමක්ද? සරල ප්‍රශ්නයක් ලෙස පෙනුනත් මටනම් මේක ගැඹුරු ලෙස විග්‍රහ කළහැකි දෙයක්. මතක තියාගන්න ඔබේ උත්තරේ අඩංගු විය යුත්තේ එක ලක්ෂණයක් විතරයි. මා මෙම ප්‍රශ්නය ඔබෙන් අහන්නේ මගේ  මීළඟ පොස්ට් එක මේ ප්‍රශ්නේ මම දකින විදිහ ගැන කියන්නයි.

ආදර ජුලියා

ජුලියා කියන්නේ මගේ ලබැඳි මිතුරියකගේ හුරුබුහුටි දූ සිඟිත්ත. වයස අවුරුදු හයක්. ජීවයෙන් පිරී ඉතුරුණු ඇය පුංචි සුරංගනාවියක්. මගේ කතාවට ඇය  පාදක වන්නේ එදිනෙදා ජීවිතයේදී අපි නොසලකන සුළු දේවල් තව සමහරකෙකුට ලොකු දේවල් වෙන හැටි කියන්නයි. එක දවසක් උදේ පාන්දර මම හොඳටම   කාර්ය බහුල වෙලා තිබුනා රාජකාරී හේතු කීපයක් නිසාජුලියා එදා හරිම රණ්ඩුවක් අල්ලලා අම්මා එක්ක හේතුව මම ඇයට සුබ උදෑසනක් නොකීම. මගේ හිතේ තිබ්බ වැඩත් එක්ක ඇයව මම දුටුවේ නැහැ, සමහරවිට දකින්නත් ඇති එත් එයත් එක්ක හිනා වෙලා සුබ පතන්න අමතක වෙන්න ඇති. කොහොමින් කොහොම හරි එදා හවස මම ජුලියාට sorry කියලා ඇත්ත පහදලා හුරතල් කළා. මේක හරිම පොඩි සිද්දියක් එහෙත් මේවගේ සුළු සුළු දේවල් නිසා නේද අපි අතර පුංචි පුංචි හිත අමනාපකම් ඇති වෙලා ලොකු ලොකු ගැටුම් වෙන්නේ. ඉතින් හොඳම දේ තමා නිතර බැරිනම් දවසේ යම් කාල වෙලාවක් හරි අපි වටේ ඉන්න අපිට ආදරේ කරන අය ගැන හිතා බලන එක, සලකන එක එයාලගේ ආදරේ අපිට මොන තරම් වටිනවද කියා අයට ඒත්තු ගැන්වීම.

අගෙයි අගෙයි ඔබ මටම අගෙයි....

කවියක රස මිහිර ලේ, සම්, මස්, නහර විනිවිද දැනෙන්නේ විඳින්නේ එය ස්වකීය අත්දැකීමක් වූ පමණින්ම නොවේ. මනා ලෙස පද සිත්තම් කලාවූ සිංහල සුබාවිත ගීතය තරම් සහෘද සිත් සන්තර්පණය කරන්නාවූ රසාලිප්තයක් තවත් තිබේද ? පද මිහිර ඔප නංවන්නට කර්ණ මාදුර්යයෙන් අනූන සෞම්ය සංගීතයත් මනා ලෙස සංකලනය වුනාවූ වයලීනයේ තත් සර, තබ්ලාවේ නාද සිත්තම් ශ්රාවකයා ගේ මනස නින්නාද කරවය් . මා මේ වදන් ගලපන්නේ මේ දිනවල මා සිත් විල කලම්බනය කරන්නාවූ ගීතයකට පූර්විකාව ලියන්නටය්.

කලා වැවෙන් ගත් දිය දෝතක් සේ - වටී වටී ඔබ මට වටී....
බෝධියකින් වට බෝ කොළයක් සේ - අගෙයි අගෙයි ඔබ මටම අගෙයි....

සිංහල රාජාවලියට අනුව දාතුසේන රජතුමාගෙන් ඔහුගේ පුත් රත්නය වන කාශ්යප කුමරු වස්තුව ඉල්ලූ විට කලා වැවෙන් දිය දෝතක් ගෙන පුත මේ මා සතු ධනයයි යනුවෙන් පෙන්වූ අන්දම අප අසා ඇත්තෙමු. එසේම බෝ මළුවකට ගිය විට බුදුන් උර දුන් බෝ රුකෙන් බෝ පතක් සිහිල් සුලන් රැල්ලෙන් වැලි මළුවට පතිත වන තෙක් අප බලා සිටින්නේ බෝ පතක් සුරැකිව තමා සන්තකයේ තබා ගැනීම සිංහල බෞද්ධ අප බෙහෙවින් අගය කරන නිසාය. ගේ පද රචකයා ආදරයෙන් සිත් බැ ඳුනාවූ ආදරවන්තිය ස්වකීය සෙනෙහෙවන්තයාට පල කරන ආදරය එසේ වටිනා බව බෙහෙවින් සියුම් උපමා මගින් ගෙන හැර දක්වයි.

කැටපත් පවුරෙන් ගිලිහුනු කවිතක් - සොරකම් කරගත් සෙරක ලෙසින්....
සගවා ගෙන ඔබ සුරකිමි හද ගැඹ - තනිවම කියවමි පදරුත් පසිදමි....

සීගිරි පව්ව තම රාජධා නිය කරගත් කාශ්යප රජතුමා සිංහල ඉතිහාසයට අනුව පීතෘ ඝාතක කුරිරු රජෙකු ලෙස හඳුන්වය්. නමුදු සීගිරි පව්වේ ඉදිරපස කොටසේ සීගිරි අප්සරාවන්ගේ රූ සිත්තම කරවා හිරුගේ ආලෝකයෙන් පරාවර්තනය වී සීගිරි ජල තටාක වල පතිත වන සීගිරි අප්සරාවන්ගේ රූ සිරි උඩු මහලේ සිට වින්දනය කලාවූ ඔහු තරම් කලාත්මක ශ්රුන්ගාත්මක රජෙක් තවත් සිටියාදැය් සැක සහිතය. එවන් විශ්මිත නිර්මාණයක කොටසක් වන කැටපත් පවුරේ එක වර කියවා තේරුම් ගත නොහැකි කුරුටු ගීයක් වන් වූ තම ආදරවන්තයාගේ විටෙක තේරුම් ගත නොහැකි සෙනෙහස ආදරවන්තිය කාටත් සොරෙන් තම හදවතේ ගැඹුරුම තැන සඟවාගෙන තනිව තේරුම් ගැනීමට උත්සාහ කරන්නීය. .

සමනළ සිරසින් විහිදුණු බුදු රැස් -සියැසින් දැක ගත් මෙහෙණක මෙන්.....
පරමානන්දය ලබමින් ඔබ ළග - සගමොක් සැපතෙහි අම රස වළදමි....

අපහසුවෙන් වුවද ඔහුගේ ආදරය පදයෙන් පදය තේරුම් ගත් කල්හි සමන්ගිරි පව්වෙන් විහිදෙන්නා වූ බුදු රැස් තම දෙනෙතින් දුටුවාවූ මෙහෙණකට දැනෙන පරම පිවිතුරු සංතෘෂ්ටිය මේ සෙනෙහෙවන්තිය විඳින්නීය. ඔහුගේ ආදරය පූජනීය කර හද බැතියෙන් පුදන්නීය.
සීමා මායිම් නැතිව ඔබත් මමත් ජීවත් කරවන්නාවූ ඔබ අප සැමගේ පොදු සාදකය වන ආදරයේ අරුම මෙයය්. නන්දා මාලිනියගේ ගැඹුරු වූ ත් ප්රේමාන්විත වූ ත් කට හඩින් ගැයෙන නිසි ලෙස සංකලනය කලාවූ ශබ්ද මාදුර්යයෙනුත් දසක ගණනාවක සිට ආදර සිත් ඇත්තැන් පොබ කලාවූ මසිත මේ දිනවල කම්පනය කළා වූ මියැසිය මෙයයි

http://www.youtube.com/watch?v=UBAXLZGWWhM
නිමිත්ත : පසු ගිය සතියේ නන්දා මාලිනියගේ සජීවී ගායනයෙන් පසුව මෙම ගීතය නැවත වරක් මා හදවතේ ගැඹුරුම තැන ප්‍රකම්පනය කිරීම.

ඉතින් අවසරයි ...

දවස් හතරක දිග නිවාඩුවක් අපිට ලැබුනා. අද මට හිතුනා මෙච්චර දවස් දින පොතේ සටහන් කල මට හැඟෙන, හිතෙන, දැනෙන දේ කාලයත් එක්ක තාක්ෂණයත් එක්ක අනුගත වෙලා බ්ලොග්ගත කරන්න. රාජකාරීමය වශයෙන් මම බ්ලොග් දෙකක්  පවත්වාගෙන යනවා. එත් දිග කාලයක් තිස්සේ තිබ්බ අදහසක් අද මල් පල ගැන්වුණා. ඉතින් අද ඉඳන් විටින් විට මගේ ලෝකයේ මට හැඟෙන දැනෙන දේ ඔබත් එක්ක බෙදා ගන්න අවසරයි.