Friday 29 April 2016

මානව සන්නිවේදන සබඳතා

මම පසුගිය සතියේ  නොසිතූ විරූ අපූරු සිදුවීමකට මුහුණ දුන්නා. ඉතා පොඩි සිදුවීමක් වුවත්  එය මගේ දවස සම්පූර්ණ කළා. අපේ පාසලේ සනීපාරක්ෂක කම්කරුවෙක් වන අල්ලපු රටේ සේවකයෙක් මට ඔහුගේ ජීවිතයේ බොහොම සුබදායි ආරංචියක් පැවසුවා. සෑම වියපත් පියෙකුගේම හීනයක සුබ නිමිත්තක් ඔහු  මා හා බෙදා ගත්තා. මා බෙහෙවින් සතුටු කළ ඔහුගේ වචන ස්වල්පය වුයේ - මට  ඉස්කෝලේ ඉන්න හොඳම  යාලුවා මිස්නේ, ඉතින් මේක මම ඉස්සර වෙලාම කියන්නේ මිස්ට. 

උදේ හවස දැක්කහම ගුඩ් මොනිග් අන්කල් කියනවා හැර, දුටු විට ලෙන්ගතු හිනහවකින් සංග්‍රහ කරනවා හැර ඔහු වෙනුවෙන් වෙන කිසිම උදව්වක් මා ඔහුට කර  නැහැ. හැබැයි මම  ඔහුගෙන්  අඩුම ගානේ සතියකට වතාවක් වත් සැප සනීප, ආගිය විස්තර විමසනවා. මට හිතෙන විදිහට ඔහු මා ඔහුගේ හොඳම මිතුරා ලෙස දකින්න ඇත්තේ මේ නිසා. 

මේක බොහොම පොඩි දෙයක් වුනාට මම දකින විදිහට සවිමත් මානව සන්නිවේදන සබඳතා කියන්නේ මහා බල සම්පන්න ඔසුවක්. මේ ලිපිය කියවා අවසන් වී ඔබත් පොඩ්ඩක් හිතන්න ඔබ අතින් මගහැරෙන පොඩි  දේවල්ම නොවේද අවසානයේ අර්බුද   බවට  පත්වන්නේ කියා. 

ඉතින් මදක් විමසන්න, කරන්න ඔබ අතින් අතපසු වුන පොඩි පොඩි දේවල් ඔබට සහ  ඔබ වටා සිටිනා ඔබේ ආදරනීයයන්ට, සේවකයන්ට, සමාජයට.....

Sunday 24 April 2016

අසා බලන්න වරක් නොව කිහිප වරක්

නින්ද ඇවිත් ආයාසයෙන්  මා සිප වැළඳ ගන්න හැදුවත් රාජකාරී වැඩ නිසා නිදි කුමාරයාට යන්න කියන්න වුණා. විඩා බර නේත්‍රා යුගලටත් වෙහෙසෙනා හිතටත් පොඩි ඉසිඹුවක් දෙන්න හිතලා අන්තර්ජාලය   පැත්තට ගොඩ වැදුණා. අහම්බෙන් අහන්නට ලැබුණු නිතර අසන්න නොලැබෙන මේ සුබාවිත ගී මියැසිය මගේ හදේ ගැඹුරුම තැන ප්‍රකම්පනය කර නෙතට කඳුලක් නංවන්නට සමත් වුණා. 

ඇත්තමයි මට මගේ දෙවැනි අම්මා - මහම්මා (අම්මගේ අක්කා) මේ සින්දුව අසද්දී මා ඉදිරිපිට ඉන්නවා වගේ හිතුණා. මා ජීවිතයේ බොහෝ දේ සමාජය ඇසුරෙන් ඉගෙන ගත හැකි බව පසක් කලේ මගේ මහම්මාගෙන්. අපි බොහෝ දෙනා මිනිසුන් මනින්නේ ඔවුන්ගේ නමට ඉදිරිපසින්, පසුපසින් ඇති උපාදි, සුදුසුකම් වලින් එහෙමත් නැත්නම් බැංකු ගිණුම්වල ශේෂයෙන්, යාන වාහන සහ සමාජ තත්වයෙන්. අපි පිළි ගන්න කැමති වුනත් අකමැති වුණත් වානිජකරණය වූ මේ සමාජයේ කටුක ඇත්ත  එයයි. මගේ මහම්මා මුදලින් පොහොසතෙක් නෙවෙයි, හැබැයි ගති ගුණ සහ මනුස්සකම් වලින් ඇය මට අග රැජිණක්. මගේ මහම්මා වගේ මේ ගීතයෙන් කියවෙන කිරි අම්මා කෙනෙක් වගේ;  අපි හැමෝගෙම ජීවිතවල ආදරණීය චරිතයක් ඔබටත් ඉන්නවා සත්තයි. 

ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලන්නට අත් පොත් තැබුවේ මගේ මහම්මාගෙන්- මෙහි සඳහන් චරිතය කිරි අම්මා වගේ.  අපට යම් දෙයක් අහිමු වුනත් එය තවකෙකුට හිමි වී ඔවුන් විඳින සතුට දෙස බලා සතුටු වන්නට හැකිනම් ජීවිතේ මහා අරුත එයම නොවේද? 

බිම වැටුණු කිරි දතට
හඬන මගෙ ළපටි හිත
අඹ ගහේ ලේනෙකුට දුන්නා
අහිමි වී ගිය දිනෙක
සිනාසිය හැකි හිතක්
අතීතෙන් මට ගෙනත් දුන්නා
මැටි ගෙදර අපේ කිරිඅම්මා
මැටි ගෙදර අපේ කිරිඅම්මා

නාමිකව පොහොසත්, කුල මාන්නයෙන් උදම් වුන එහෙත් දන් දීමට පුරුද්දක් නැති මිනිසුන් සිටිනා සමාජයක ඇසට පෙනෙන නොපෙනෙන සතුන්ට පවා මහැගිව රැකගත් දෙයක් දන් දෙන්නට මේ කිරි අම්ම නොපසුබටයි.

රහත් නමකට නොදෙන
කැවුම් මල්ලක් තියෙන
සිටුවරුන් සිටුගෙදර උන්නා
මා නමින් ගෙයි ඉදෙන
කැවුම් අහුරෙන් එකක්
අඬන කෝදුරුවන්ට දුන්නා
මැටි ගෙදර අපේ කිරිඅම්මා
මැටි ගෙදර අපේ කිරිඅම්මා

කිරි අම්මා වාසය කරන්නේ දුප්පත් මැටි ගෙදරක, එත් මුළු ගමටම දන් දෙන්නට, කුසගිනි නිවන්නට මේ කිරි අම්‌මා පොහොසත්. මට හිතෙන විදිහට අන්තිම පද පෙලෙන් කියවෙන්නේ අද සමාජයේ සියලු සබඳතාවන් ඩිජිටල් වෙලා, මානව බැඳීම් දුරස් වෙලා , එත් අපි තාක්ෂණයත් එක්ක අනු ගත වෙලා- හැබැයි මානව සබඳතා වලින් පිරිහිලා. මෙවන් කිරි අම්මා චරිතයක්  තාක්ෂණික ලෝකයේ කොහෙවත් නැහැ. පුලුවන්නම් හොයා ගන්න. 

මැටි ගෙදර තිබුණු තැන
ගමක කුසගිනි නිවන
කිරි එරෙන ගහක් වැඩ ඉන්නා
වෙබ් අඩවියේ තැ‍නෙක 
හමුවුනොත් දන්වන්න
මැටි ගෙදර අපේ කිරිඅම්මා
මැටි ගෙදර අපේ කිරිඅම්මා
.
පද - රජී වසන්ත වෙල්ගම
සංගීතය - ප්‍රසාද් සිරිවර්ධන
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

ලයාන්විත මියැසි ස්වරයෙන්,  අරුත් බර පද වැලින් සිත් විල නින්නාද කළා වූ ඔබේ ජීවිතයට සමීප මෙවැනි කිරි අම්මා කෙනෙක් ගැන සඳහන්  මේ ස්වර සන්ධවනිය බෙහෙවින් සංවේදීය. අසා බලන්න, විඳින්න  වරක් නොව කිහිප වරක්.

Saturday 23 April 2016

ඉතින් ආයුබෝවන්!

නෙලුම් වලක් නෙලුම් විලක් කරන්නට වෙනස ඉස්පිල්ලකි.
2003 වසරේ මුණගැසුන ඔහුගේ මා ඇසු පළමු කතාව මෙයයි.
දහතුන් වසරකට පසු ඔහු සමු ගන්නා දවසේ මගේ අවසාන කතාවේ පූර්විකාවද එයයි.
මහගු වෙනසක් උදා කළ මුල් ගුරුතුමනි සොඳ, 
ඉතින් ආයුබෝවන් යලි මුණ ගැසෙන තුරා .......

ඕමානයේ සිරි ලක් විදුහලේ මුල් ගුරු සෝමබන්දු කොඩිකාර මහතාට සහ ආදරබර නාලිනී කොඩිකාර මැතිණියට සුබ ගමනකට සුබ පැතුම්!


අපේ හයේ පහර!!!

අදින් සය වසරකට පෙර 
ජය මංගල අෂ්ටක බෙර හඬින් 
රන් කෙන්දෙන් අතැඟිලි එක් කරලා 
නුඹේ සොඳුරු මනාලිය ලෙසින් 
අපි අපේ වුනා මතකයි අදරින්. 
සුපුරුදු සෙනෙහෙ කැදැල්ලට සමු දී ..
ඔබේ අත ගෙන දිවි මං තලාවේ
පියනගන්නට සතුටින්
එක්වූවා සෙනෙහෙ සිතින්
දසකයකුත් සිව් වසරකුත් ගෙවිලා
ඔබ මා දැන හඳුනාගෙන
එදා දුටු මගේ සොඳුරු මිතුරා
දැන් මගේ සුහදානන් වෙලා
ආදරේ නම් මහ මෙරක් මැයි
අකුරු අමුනන්නට නොහැකී
රන් රස සේ එක් වෙලා
එදා මෙන් හැමදාමත් ආදරෙන්
පිය නගමු අපි සන්තොසින්...
HAPPY ANNIVERSARY HUBBY!


Thursday 21 April 2016

ආදර අක්කා

පවුල් බැඳීමක කොඳු නාරටිය මට හිතෙන විදිහට නම් පවුලේ ලොකු අක්කා. එකිනෙක ආවර්ජනය කරනවානම් ලියා නිම කරන්නන්ට නොහැකි තරම් රසබර මතක ගෙනහැර දක්වන්නට පුළුවන්. හොඳම මතකයක් නම් මම පොඩිම කාලේ අක්කා මට කිව්වා අකුණු ගහද්දී යකඩ වලට ඒවා ඇද ගන්නවා, ඒක නිසා යකඩ ළඟ ඉන්නවත් එපා. මගේ වෙලාව කියන්නේ දවසක් හෙන ගගහ වහිද්දී මම ඇඳගෙන හිටියේ යකඩ ගාන්චු තියෙන කොට කලිසමක්. අක්කගේ උගත් පාඩම් කොමිසම කෙතරම් මගේ ඇට මිදුළු වලට ගිහින්ද කියනවානම් ඒ වෙලාවේම මම කලිසම ගලවලා විසි කලානේ. කොහොමද අපේ අක්කගේ අකුණු සන්නායක විද්‍යා පාඩමේ තරම. පොඩි කාලේ ඇණයක් විදිහට හිතුනත් දැන් හිතෙනවා ඒ සොඳුරු ළමා වියේ මතකයන් නිසාම නොවේද අපි ආදරෙන් තාමත් ජීවත් වෙන්නේ කියා. 
මේ පුංචි සිතිවිල්ල ඒ මතකයන් වෙනුවෙන් .....

 2015-04-22
                                                                                 2016-04-22

Monday 18 April 2016

අපි මොනවද කළේ?

කිසිදා දැක නැති එහෙත් බ්ලොගය නිසා මා හඳුනාගත් හිතවතුන් මගේ නිර්මාණ අගය කරද්දී දැනුන සතුට යලි විඳගන්නට මගේ සුබ කතා බ්ලොගය පණගන්වන්නට මට හිතුනා.  දිගු නිහැඬියාවකට පසුවුණත් හිතට දැනෙන, විඳින වස්තු බීජයන් ඔබ හා බෙදාගන්නට යලිත් අවසරයි.
ළඟකදී නින්දත් නොනින්දත් අතර ඉන්දෙද්දී මට හරි අපූරු සිතිවිල්ලක් පහළ  වුණා. අප අසා ඇති ඉතිහාස කතා වල දුටුගැමුණු රජතුමාට මරණාසන්න මොහෙතේදී සිහිපත් කරන්න පින් පොතක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ එතුමා කළ හැම යහපත් කටයුත්තක්ම පින් පොතේ සටහන් කරලා තියෙනවා. ඉස්සර වගේ දිනපොත් දැන් පාවිච්චි කරන්නේ නැති නිසා මට හිතෙනවා මුහුණු පොතේ පින්තූර සටහන් සහ සොඳුරු මතකයන් හැර අප කළ කිසිවක් වාචිකව සටහන් වෙන්නේ බොහොම අඩුවෙන් කියා.  රාජකාරී කටයුතු නිසා ලංකාවෙන් බොහෝ දුර බැහැරව මමත් මගේ සංචාරක ගමන් සගයත්(දැන් ඔහු මගේ ජීවන ගමන්මගේ සගයා) හිටියත් එදා ලංකාවේ ගිය චාරිකා තවම සිතේ සක්මන් කරන නිසා මතු යම් දවසක අපේ දරු මුණුබුරන්ට කියන්නට රස ගමන් විස්තර සටහන් කරන්නට මට හිතුනා. අපේ බොහෝ සංචාරක සටහන් පහත සබදියන්වල තිබුනත් සියල්ල එක පිටුවක ගලපන්නට මගේ උත්සාහයයි.

ඉදිරියට ඒවා විස්තරාත්මකව ගෙනෙන්නත් මෙම ගමන් වලදී අපට හමුවූ  සොඳුරු මිනිසුන්, මතකයන්  ගැනත් පෙලගස්වන්නට ඉදින්  අවසරයි!
අපේ කඳු තරණයන් සහ සංචාර කිහිපයක්
  • පිදුරුතලාගල 
  • කිරිගල්පොත්ත - දෙවරක් 
  • තොටුපොල කන්ද - දෙවරක් 
  • සමනල ගිර - මාර්ග සතරකින් සතර වරක් 
  • ග්‍රේට් වෙස්ටර්න් 
  • කොනිකල් හිල් 
  • සිංගල් ට්‍රී හිල් 
  • නකල්ස්, දෝතළුගල  
  • ගොන්ගල 
  • හන්තාන 
  • බෝම්බුරු ඇල්ල 
  • වන්ගෙඩිගල - බඹර කන්ද 
  • බැරන්ඩිගල, සේර ඇල්ල - මාතලේ
  • ඩෙල්ෆ්ට්, යාපනයේ සංචාරය 
  • විල්පත්තු, තම්බපන්නි ගමන 
  • ලෝකාන්තය - සුපුරුදු පාර සහ නග්රක් බංගලාවෙන් ඉහලට 
  • හත්මලේ ඇල්ල - දෙනියාය 
  • සිංහරාජය දෙවරක් 
  • කොත්මලේ සංචාරය 
  • මොණරගල 
  • රාක්ෂගල 
  • යක්දෙස්සගල 
  • කබ්බලේ කන්ද -කන්නෙලිය
  • මානිගල 
  • රිවර්ස්ටන්    
  • මීමුරේ