නින්ද ඇවිත් ආයාසයෙන් මා සිප වැළඳ ගන්න හැදුවත් රාජකාරී වැඩ නිසා නිදි කුමාරයාට යන්න කියන්න වුණා. විඩා බර නේත්රා යුගලටත් වෙහෙසෙනා හිතටත් පොඩි ඉසිඹුවක් දෙන්න හිතලා අන්තර්ජාලය පැත්තට ගොඩ වැදුණා. අහම්බෙන් අහන්නට ලැබුණු නිතර අසන්න නොලැබෙන මේ සුබාවිත ගී මියැසිය මගේ හදේ ගැඹුරුම තැන ප්රකම්පනය කර නෙතට කඳුලක් නංවන්නට සමත් වුණා.

ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලන්නට අත් පොත් තැබුවේ මගේ මහම්මාගෙන්- මෙහි සඳහන් චරිතය කිරි අම්මා වගේ. අපට යම් දෙයක් අහිමු වුනත් එය තවකෙකුට හිමි වී ඔවුන් විඳින සතුට දෙස බලා සතුටු වන්නට හැකිනම් ජීවිතේ මහා අරුත එයම නොවේද?
බිම වැටුණු කිරි දතට
හඬන මගෙ ළපටි හිත
අඹ ගහේ ලේනෙකුට දුන්නා
අහිමි වී ගිය දිනෙක
සිනාසිය හැකි හිතක්
අතීතෙන් මට ගෙනත් දුන්නා
මැටි ගෙදර අපේ කිරිඅම්මා
මැටි ගෙදර අපේ කිරිඅම්මා
නාමිකව පොහොසත්, කුල මාන්නයෙන් උදම් වුන එහෙත් දන් දීමට පුරුද්දක් නැති මිනිසුන් සිටිනා සමාජයක ඇසට පෙනෙන නොපෙනෙන සතුන්ට පවා මහැගිව රැකගත් දෙයක් දන් දෙන්නට මේ කිරි අම්ම නොපසුබටයි.
රහත් නමකට නොදෙන
කැවුම් මල්ලක් තියෙන
සිටුවරුන් සිටුගෙදර උන්නා
මා නමින් ගෙයි ඉදෙන
කැවුම් අහුරෙන් එකක්
අඬන කෝදුරුවන්ට දුන්නා
මැටි ගෙදර අපේ කිරිඅම්මා
මැටි ගෙදර අපේ කිරිඅම්මා
කිරි අම්මා වාසය කරන්නේ දුප්පත් මැටි ගෙදරක, එත් මුළු ගමටම දන් දෙන්නට, කුසගිනි නිවන්නට මේ කිරි අම්මා පොහොසත්. මට හිතෙන විදිහට අන්තිම පද පෙලෙන් කියවෙන්නේ අද සමාජයේ සියලු සබඳතාවන් ඩිජිටල් වෙලා, මානව බැඳීම් දුරස් වෙලා , එත් අපි තාක්ෂණයත් එක්ක අනු ගත වෙලා- හැබැයි මානව සබඳතා වලින් පිරිහිලා. මෙවන් කිරි අම්මා චරිතයක් තාක්ෂණික ලෝකයේ කොහෙවත් නැහැ. පුලුවන්නම් හොයා ගන්න.
මැටි ගෙදර තිබුණු තැන
ගමක කුසගිනි නිවන
කිරි එරෙන ගහක් වැඩ ඉන්නා
වෙබ් අඩවියේ තැනෙක
හමුවුනොත් දන්වන්න
මැටි ගෙදර අපේ කිරිඅම්මා
මැටි ගෙදර අපේ කිරිඅම්මා
.
පද - රජී වසන්ත වෙල්ගම
සංගීතය - ප්රසාද් සිරිවර්ධන
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
ලයාන්විත මියැසි ස්වරයෙන්, අරුත් බර පද වැලින් සිත් විල නින්නාද කළා වූ ඔබේ ජීවිතයට සමීප මෙවැනි කිරි අම්මා කෙනෙක් ගැන සඳහන් මේම ස්වර සන්ධවනිය බෙහෙවින් සංවේදීය. අසා බලන්න, විඳින්න වරක් නොව කිහිප වරක්.
No comments:
Post a Comment